Wednesday, October 3, 2012

පොළොන්නරුව වටදාගෙය




පොළොන්නරුව වටදාගෙය
පෞරාණික නිර්මාණයක් වන පොළොන්නරුව වටදාගෙයශ්‍රී ලංකාවේ පොළොන්නරුව යුගයේ ඉදිවූවකි. මෙය පළමුවන පරාක්‍රමබාහු රජ සමයේබුදුරජාණන් වහන්සේගේ ශ්‍රීදන්ත ධාතුන් වහන්සේ තැන්පත් කිරීමට හෝ නිශ්ශංක මල්ල රජ සමයේ, බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතුව තැන්පත් කිරීමට ඉදිකරවූවක් බවට විශ්වාසයන් පවතී. එකල මෙම පූජනීය ධාතූන් රාජ්‍යත්වයේ සංකේතයන් විය. පොළොන්නරුව ඓතිහාසික නගරය තුල පිහිටා ඇති මෙය රට තුල සංරක්ෂණය වී ඇති විශිෂ්ටතම වටදාගෙය මෙන්ම මෙම මාදිලියේ වාස්තුවිද්‍යාවේ අත්‍යන්ත සමෘද්ධිය විද්‍යාමාන කර‍යි. ශතවර්ෂ ගණනාවක් ජරාවාස වී තිබීමෙන් අනතුරුව 1903දී පොළොන්නරුව වටදාගෙයෙහි කැණීම් ආරම්භ විය.
කුඩා ස්තූපයක ආරක්ෂාව සදහා ඉදිකල මෙම නිර්මාණය සංකීර්ණ ශිලා කැටයමින් අලංකාර කරන ලද ශිලා වේදිකා යුගලකින් සමන්විත වේ. උතුරු දිශාවට මුහුණලා ඇති තනි දොරටුවකින් පහත් වේදිකාවට ප්‍රවිෂ්ට විය හැකි අතර සතර දිශාවට මුහුණලා ඇති දොරටු සතරකින් ඉහල වේදිකාවට ප්‍රවේශ විය හැක. කුඩා ස්තූපය සමන්විත ඉහල වේදිකාව ගඩොල් බිත්තියකින් ආවෘත වී ඇත. ස්තූපය වටා ඇති එක් එක් දොරටුව දෙසට මුහුණලා තබා ඇති බුද්ධ ප්‍රතිමා සතරකි. දැවමය පියස්සකට රුකුල් දෙනු පිණිස ඉදිකල බවට අනුමාන වශයෙන් සිතිය හැකි ඒකකේන්ද්‍රීය ශිලා ස්තම්භ පේළි ත්‍රිත්වයක්ද මෙහි පිහිටා ඇත. සමස්ථ නිර්මාණයම ශිලා කැටයමින් සැරසී ඇත. සඳකඩපහණ වැනි පොළොන්නරුව වටදාගෙයි ඇති ඇතැම් නිර්මාණ, එවන් වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ සඳහා ඇති විශිෂ්ටතම උදාහරණ බව සැලකේ. ඇතැම් පුරාවිද්‍යාඥයින් මෙහි දැවමය පියස්සක් තිබූ බව යොජනා කලද, ඇතැමුන් මෙම මතය ප්‍රතික්ෂේප කරයි.

පොළොන්නරුව වටදාගෙය වර්ථමානයේ දිස්වන ආකාරය

පොළොන්නරුව වටදාගෙය කවුරුන් විසින් කුමන කාලසීමාවක ගොඩනගන ලද්දක්දැයි යන්නට පුරාවිද්‍යාඥයින් සහ ඉතිහාසඥයින් අතර පවතින මතවාද එකිනෙකට වෙනස් වේ. ඉන් එක් මතවාදයක් වන්නේ, මෙය 12වන ශතවර්ෂයේදී පළමු පරාක්‍රමභාහු රජ සමයේ ඉදි වූ බවයි. ඔහු බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුව තැම්පත් කිරීමට, කවාකාර ශිලා ධාතු මන්දිරයක් ඉදිකල බව චූලවංශයේ සඳහන් වේ. පුරාවිද්‍යාඥ එච්.සී.පී. බෙල්ගේ විශ්වාසය වන්නේ මෙම ධාතු මන්දිරය පොළොන්නරුව වටදාගෙය බවයි. මීට පරස්පර අදහසක් ප්‍රකාශ වනරාජාවලිය සහ පූජාවලිය වැනි දිවයිනේ ඓතිහාසික මූලාශ්‍ර කිහිපයක සඳහන් වන්නේ මෙය නිශ්ශංක මල්ල රජු විසින් ඉදිකරන ලද්දක් බවයි. කෙසේ උවත්ආතර් මයුරයිස් හොකාර්ට්ගේ අධ්‍යනයන් පෙන්වා දෙන්නේ නිශ්ශංක මල්ල රජු එතෙක් තිබූ ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමත් වාහල්කඩ සහ බාහිර ද්වාර ම්ණ්ඩපය වැනි එකතු කිරීම් කීපයක් පමණක් කර ඇති බවත්ය. මහාවංශය පරිවර්ථනය කල විල්හෙල්ම් ගීගර් සහ ඉතිහාසඥයකු වන එච්.ඩබ්ලිව්. කොඩ්රින්ටන් යන දෙදෙනාම මෙම මතය සමඟ එකඟ වේ. සමීපයෙහි පිහිටි නිශ්ශංක මල්ල රජු විසින් පිහිටුවන ලද ශිලා ලේඛණයක වටදාගෙය ඔහුගේ තැනීම් අතර ලැයිස්තු ගතකොට ඇත. එය ඉදිකරන ලද්දේ තම අධීක්ෂණය යටතේ ඔහුගේ සෙනවියෙකු විසින් බව මෙහි ඔහු සඳහන් කොට ඇත.
පුරාණ බෞද්ධ ගෘහනිර්මාණ ශිල්පයේ අද්විතීය අංගයක් වන වටදාගෙවල්, වැදගත් පූජනීය වස්තූන් නිදන් කල හෝ පවිත්‍ර භාවයට පමුණුවනලද භූමියමත ඉදිකරන ලද කුඩා ස්තූපයන්ගේ ආරක්ෂාව සදහා ගොඩනගන ලදී. පොළොන්නරුව වටදාගෙය පලමුවන පරාක්‍රමභාහු රජු විසින් ගොඩනගන ලද සිද්ධස්ථානයක් නම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීදන්ත ධාතුව එහි නිදන්වී තිබීමට ඉඩ ඇත. බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතුව එහි නිදන්වී තිබීම අනෙක් භාව්‍යතාවයි. මෙම ධාතූන් යුගලයම පුරාණ ලාංකීය සංස්කෘතියේ වැදගත් අංගයන් වූ අතර පොළොන්නරුව වටදාගෙය දේශයේ වැදගත්ම සහ ගෞරවණීයම ගොඩනැගීම් වලින් එකක් විය.
1215දී දකුණු ඉන්දීය ආක්‍රමණ සමඟ පොළොන්නරුව රාජධානියේ අවසානය සිදුවිය. රාජධානියේ බිඳවැටීමත් සමග පොළොන්නරුව වටදාගෙය ජරාවාසව තිබී ඇති අතර පසුකාලීන ඒ පිළිබඳ කිසිඳු සටහනක් දක්නට නැත. 1903දී පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුව මගින් එම භූමියේ බෙල් යටතේ කැණීම් කටයුතු අරම්භ කල අතර ඔහු එම අවස්ථාවේදී එය පස් ගොඩැල්ලක් පමනක් යයි සලකුණු කරගන්නා ලදී.


පොළොන්නරුව වටදාගෙයි පිහිටුම, බාහිර වෘත්තයෙන් පහත වේදිකාව දැක්වෙන අතර දෙවන වෘත්තයෙන් ඉහල වේදිකාව දැක්වේ. ප්‍රතිමා සතරින් ආවෘත ස්තූපය, එමෙන්ම දොරටු සතර හරහා ප්‍රවේශ වියහැකි ඉහල වේදිකාව මත පිහිටි ඒක කේන්ද්‍රීය ශිලා ස්ථම්භ ත්‍රිත්වය.
ඓතිහාසික පොළොන්නරුව නගරය තුල, දළදා මලුව නම් චතුරස්‍රාකාර ප්‍රදේශය තුල පොළොන්නරුව වටදාගෙය පිහිටා ඇත. නගරයේ පැරණිතම සහ අති පූජනීය ස්මාරක කිහිපයක්ම දළදා මලුව තුල අඩංගු වේ. ඒවා අතරින් ප්‍රමුඛ ස්ථානයක් පොළොන්නරුව වටදාගෙයට හිමිවන අතර දළදා මලුවේ ගිණිකොන ප්‍රදේශයේ වැඩිම ප්‍රමාණයක් ආවරණය කරයි. මෙය රට තුල හොඳින්ම සංරක්ෂණය වී ඇති වටදාගෙයකට උදාහරණයක් වන අතර අනුරාධපුර යුගයට අයත්, විශේෂයෙන් ථූපාරාමයේ සහ ලංකාරාමයේ සැලසුමට එක්තරා ප්‍රමාණයකට සමානත්වයක් දරයි.
පාදකයේ විෂ්කම්භය අඩි 27 අඟල් 8 (මීටර් 8.43)ක් වූ කුඩා ස්තූපයක් වටා මෙම ගොඩනැගිල්ල ඉදිකොට තිබේ. පහත් වේදිකාව සහ ස්තූපය අඩංගු ඉහල වේදිකාව ලෙස වටදාගෙයි මට්ටම් දෙකකි. ඉහල වේදිකාවෙහි විෂ්කම්භය අඩි 80 (මීටර් 24)ක් වන අතර පහත් වේදිකාවේ අඩි 120 (මීටර් 37)කි. පහත් වේදිකාව පොලොව ම්ට්ටමේ සිට අඩි 4 අඟල් 3 (මීටර් 1.30)ක් උසින් පිහිටා ඇති අතර ඉහල වේදිකාව පහත් වේදිකාවේ සිට අඩි 5 අඟල් 3 (මීටර් 1.60)ක් උසින් පිහිටා ඇත.
උතුරු දිශාවේ ඇති තනි දොරටුවක් හරහා කවාකාර පහත් වේදිකාවට ප්‍රවිෂ්ට විය හැක. විචිත්‍ර ලෙස ඉදිකර ඇති දොරටු සතර, මෙහි සිට අයින ගඩොල් බිත්තියකින් අවෘත වූ ඉහල වේදිකාවට මඟ පෙන්වයි. මෙම දොරටු, සතර කේන්ද්‍රීය දිශාවන්ට දිශානත වී ඇත. ස්තූපය වටා එක් එක් දොරටුව දෙසට මුහුණුලා ඇති බුද්ධ ප්‍රතිමා සතරක් තැම්පත් කොට ඇත. මෙම වේදිකාවේ මධ්‍යය, ස්තූපය මඟින් ආවරණය වී ඇත. එක් එක් බුද්ධ ප්‍රතිමාවේ උස අඩි 5 (මීටර් 1.5)ක් වන අතර එක එකක් උස අඩි 2 අඟල් 10 (මීටර් 0.86)ක් වූ ශිලා ආසන මත තැම්පත් කොට ඇත. ඒක කේන්ද්‍රීය ශිලා ස්තම්භ පේළි ත්‍රිත්වයක් ඉහල වේදිකාවේ පැවතී ඇත. ගඩොල් ප්‍රාකාරය තුල පිහිටි මෙම පේළි වලින් දෙකක කිසිවක් ශේෂවී නැති අතර තෙවන පේළිය ඊට පිටතින් දක්නට ඇත. ඇතුලත පේළියේ ස්තම්භ 16ක්ද මැද පේළියේ ස්තම්භ 20ක්ද පිටත පේළියේ ස්තම්භ 32ක්ද තිබී ඇත. දැනට පවත්නා පිටත වළල්ලේ ස්තම්භ වල උස අඩි 8 (මීටර් 2.4)ක් පමණ වේ.

ගෘහ නිර්මාණ ශිල්පය සහ ගල් කැටයම් කළාව

අතීත ශ්‍රී ලාංකික පුරවැසියන් බදු ගෙවීමේ ක්‍රමයක් ලෙස ඉදිකිරීම් සහ අළුත්වැඩියා කිරීමේ වැඩ වල නිරතවන ලදී. එවන් ශ්‍රමිකයන්ද පොළොන්නරුව වටදාගෙය ඉදිකිරීමේදී යොදාගෙන ඇත. කෙසේ උවත් වැඩි කර්තව්‍යයක් නිපුන ශිල්පීන් අතින් සිදුකර ඇති බව නිර්මාණයන්ගේ උසස් තත්වය පෙන්වාදෙයි. පොළොන්නරුව යුගයේදී වටදාගෙය ආකාරයේ නිර්මාණයන්ගේ ගෘහ නිර්මාණශිල්පය ඉහල මට්ටමක පැවති අතර පොළොන්නරුව වටදාගෙය එහි අත්‍යන්ත දියුණුව බව සලකයි. නිර්මාණයේ වඩාත්ම සිත් ඇදගන්නා අංග සමහරක් වන්නේ එහි ඇති සංකීර්ණ ගල් කැටයම් වේ. උතුරු පිවිසුමේ ඇති සඳකඩපහණ සහ නැගෙනහිර පිවිසුමේ ඇති මුරගල් දෙක පොළොන්නරුව යුගයට අයත් එවන් වාස්තුවිද්‍යාත්මක නිර්මාණ සඳහා ඇති විශිෂ්ටතම උදාහරණ ලෙස සලකයි. පුරාණ ලංකාවේ ආශ්‍රමස්ථ ගොඩනැගිලි සඳහා වන පිවිසුමෙහි සුලභව මෙවන් සැරසිලි අංග ස්ථාපිත කොට තිබූ අතර සඳකඩපහණ බුදුදහමේ සංසාර චක්‍රය නිරූපණය කරන බව ඉතිහාසඥයින්ගේ පිළිගැනීමයි. බෙල්ට අනුව පැහැදිලි වන්නේ ඉහල වේදිකාවේ පැතිවල ඇති කැටයම් වලට සමකල හැකි නිර්මාණයක් අනුරාධපුරයේ හෝ පොළොන්නරුවේ හෝ ඇතැම්විට ලංකාවේ වෙනත් කිසිම බෞද්ධ සිද්ධස්ථානයකින් හෝ හමුනොවන බවයි.
පොළොන්නරුව වටදාගෙයින් හමුවන සෘජු, සමමිතික ශිලා ස්තම්භ අනුරාධපුර යුගයේ ගොඩනැගිලිවල දක්නට ලැබෙන ඒවාට බොහො සෙයින් සමානවේ. සෑම ශිලා ස්තම්භයකම පාදය නෙළුම් මලක හැඩයට කැටයම් කොට ඇත. පුරාවිද්‍යාඥ සෙනරත් පරණවිතාන අනුමාන කරන්නේ මෙම ශිලා ස්තම්භ දැවමය පියස්සක් උසුලා සිටි බව‍යි. මෙම මතය බොහො අය විසින් පිළිගන්නා අතර මේ සඳහා භාවිතා කල ඇණ සහ උළු කැණීම් වලදී හමුවී ඇත. කෙසේ උවත් අනෙක් මතය වන්නේ වටදාගෙයට පියස්සක් නොතිබූ බවත් පහන්, තිර හෝ බෞද්ධ සංකේත එල්ලීමට ශිලා ස්තම්භ භාවිතා කල බවත්ය.


ඉහල වේදිකාවේ ස්තූපය අසල පිහිටි බුද්ධ ප්‍රතිමා වලින් එකක්. ගඩොල් ප්‍රකාරය පසුබිමෙන් දිස්වේ.
වේදිකාව වටා ඇති ගඩොල් ප්‍රාකාරය සැලකියයුතු තරම් ආරක්ෂාවී පැවතියත් එහි ඇතැම් කොටස් කැඩීගොස් ඇත. එහි ඝනකම බොහෝ සෙයින් අඩි 2 අඟල් 6(මීටර් 0.76)ක් වන අතර අනුමාන වශයෙන් ස්තූපය පැති වලින් ආරක්ෂාවීමට තනන ලද්දකැයි සිතිය හැක. ප්‍රාකාරයේ ඇතුලත පෘෂ්ඨය සිතුවම් වලින් අලංකාරව පැවති බවට සාධක ඇත. එහි පහල කොටස මල් මොස්තර කැටයම් කල ගල් පුවරු වලින් ආවරණයවී ඇත. ප්‍රාකාරයට පහලින්වූ ඉහල වේදිකාවේ පැත්ත මෙන්ම පහත වේදිකාවේ පැත්තද කැටයමින් සැරසී ඇත.
ගලින් කැටයම් කල බුද්ධ ප්‍රතිමා සතරධ්‍යාන මුද්‍රාව නිරූපණය කරයි. ඉන් දෙකක් අද වනවිට නිරුපද්‍රිතව පැවතියද අනෙක් දෙකෙහි කොටස් පමණක් ඉතිරිව පවතී. ශ්‍රී ලංකාවේ සුලභව දක්නට ලැබෙන බුබ්බුලාකාර හැඩයට මධ්‍යයේ ස්තූපය ඉදිකර ඇත. මෙහි ඉහල කොටස විනාශවී ඇති අතර ගෝලාකාර හැඩැති පහල කොටස පමණක් දැනට ඉතිරිව පවතී. කෙසේ උවත් සාම්ප්‍රදායික පේසා වළලු ත්‍රිත්වය වෙනුවට මෙහි දක්නට ලැබෙන්නේ පේසා වළලු දෙකක් පමණි.


No comments:

Post a Comment